Monday, November 19, 2012

නමවන පියවර - ගෙනියන “බඩු“ ගැන

හරි දැන් අපි ගමනට සූදානම් වෙමින් ඉන්නේ , පේනවනේ දැන් හිතුවට වඩා බඩු ගොඩගැහිල වගේ නේ ..කොහොම වුනත් දැන් අපිට සිද්ධ වෙනවා , ගෙනියන්න නියමිත බර ප්‍රමාණයට පමණක් සෑහෙන විදියට මේ බඩු මුට්ටු ටික පිළීවෙලකට pack කරගන්නට , ඒ නිසා දැන් ඔන්න අවශ්‍යම බඩු ටික දැන් පිළිවෙලට ළඟට ගනිමුකෝ ..

මොනවද වැදගත්ම ..? ...

මුලින්ම පවුලේ හැමෝගෙම පාස්පෝට් ගන්න , හොඳට බලන්න එහි වීසා සටහන තුල නම විස්තර නිවැරදිද කියල ,  ඊළඟට වීසා නිකුත් කළ දවසේ ලබා දුන් travel documents , අර ඔබේ පිංතූරයත් විස්තරත් අඩංගු පිටු තුනක විතර ලේඛණය , පවුලේ එක් අයෙක්ට එක බැගින් ඇති , අර පාස්පෝට් තියෙන පිළිවෙලටම ඒ ටිකත් තියා ගත්ත නම් ලේසියි . 

දැන් බලන්න ඔබේ ගුවන් ගමන් ටිකට් පත් ටික , ඔබ e ticketing ක්‍රමයට ටිකට්පත වෙන් කළානම් , අදාල නියෝජිත ආයතනයෙන් ඔබ වෙත එවූ ඊමේල් එකේ පිටපත බැගින් අරගන්න , නැත්නම් ටිකට්පත් ටික සූදානම් කර ගන්න ..

ඊළඟට තමයි දෙයියන්ගේ මල්ලි එක්ක කරන වැඩේ ...ඔබට නියමිත Proof of fund මුදලක් ඇති , එය ලක්ෂ විස්සක් විතර වෙන්න පුළුවන්  , සමහර විට එය මුදල් ලෙසින්ම ගේන්නට අදහස් කරනවානම් අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා රුපියල් , කැනඩා ඩොලර් වලට හෝ අමෙරිකානු ඩොලර් වලට මාරු කරල තියා ගන්න . ඒ මාරු කරත්දි පිලිගත් බැංකුවකින් මාරු කරගන්නවාද , නැත්නම් black market දානවද කියන එක ඔබේ තීරණයක් , කොහොම වුනත් හොඳ රේට් එකක් ලැබෙන ආරක්ෂිත තැනකින් මාරු කර ගන්න එක වටිනවා , 

දැන් බී පෝරම් , එදා අන්තිමට ඔබට download කර ගන්න කීව B4 forms නියමිත පරිදි සම්පුර්ණ කරලා , ඒ කියන්නේ ලංකාවේ ඉඳළ කැනඩාවට ගෙනියන දේවල් වල විස්තර , සහ පසුව ගේන්නට බලාපොරොත්තු වන දේවල් වල නම , මිල වගේ විස්තර සටහන් ටික සහ ඒවායේ ඡායාපිටපත් ...

ඊළඟට සහතික ....මොනවද ඕන කරන්නේ ..සියල්ලන්ගේම උප්පැන්න සහතික , සහ ඒවායේ ඉංග්‍රිසි පරිවර්ථන සහ සහතික කළ පිටපත් කිහිපයක් , විවාහකයන් ගේ විවාහ සහතික , නීත්‍යානුකූලව දික්කසාද වූවන් ඊට අදලා සහතික පත් සූදානම් කරගන්න . මේ සහතික වලත් ඡායාපිටපත් දෙක බැගින් වත් අරන් තියෙන්න ඕන .

දැන් සියල්ලන්ගේම අධ්‍යාපන සහතික , ( විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඔස්සේ , විදේශ අමාත්‍යංශ කාර්යාලයෙන් ලබා ගත් සහතික ) , උපාධි හෝ ඩිප්ලෝමා වල transcripts , රැකියාවලට අදාල වෘත්තීය සහතික වගේ හැම දේකම ඡායා පිටපත් එක්කම සූදානම් කරගන්න ..

ඊළඟට දරුවන් දැනට පාසල් යනවා නම් , ඒ පාසල් වලින් ලබා ගත් දැන්ට සිටින ශ්‍රේණිය තහවුරු කෙරෙන ලිපි , දරුවන්ගේ ප්‍රතිශක්ති කරණ සටහන් , ඒවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මගින් සනාථ කළ ලිපි , සහ ඒම ඡායා පිටපත් ..ඊළඟට ..මතකද අපි කීව මාස තුනකට විතර බෙහෙත් ගේන්න කියල , අන්න ඒ බෙහෙත් වලට අදාල ‍වෛද්‍ය සටහන් සහ පිටපත් ..ඊළඟට අමත කරන්නේ නැතිව ඔබ රියදුරු බලපත්‍රයක් තිබේනම් එය , 

මේ සියල්ලන්ගේන් මුලික සහතික පත් එක ෆයිල් එකකටයි , ඡායාපිටපත් එකකටයි වෙන් කරගන්නකෝ . මොකද මේ මුල් පිටපත් ටික අපි ගෙනියන්නේ Carry on baggage එකේ ...අර ඡාජාපිටපත්  ගෙනියන්නේ check in baggage නැත්නම් අර ලොකු බෑග් එකේ ... 

හරි දැන් අපි අතේ ගෙනියන Carry on baggage tඑක පැක් කරන්නයි යන්නේ ...මුලින්ම මේ මුලින් කී “මුල් ලේඛණ සහ පාස්පෝට් , ගුවන් ටිකට්පත් , සංක්‍රමණ ලියැකියැවිල ටික . මෙයින් සහතික ටික ඇතුලට දාල ගමනට අදාල පාස්පෝට් , ගුවන් ටිකට්පත් , සංක්‍රමණ ලියැකියැවිල ටික පහසුවෙන් එළියට ගන්න පුළුවන් විදියට තැන්පත් කරගන්න , බෑග් එකේ එළියේ සාක්කුවක දා ගත්තත් පහසුයි , ආරක්ෂීත නම් . මුදල් නම් ආරක්ෂාකාරී විදියකට තබා ගන්න , ඊළඟට ඒ කැරිඔන් බැගේජ් එකට එක ඇදුම් කට්ටලයක් බැගින් දාගන්න , පොඩි දරුවන් ඉන්නවා නම් දරුවට දෙන කිරි පිටි පැකට් එකක් , බිස්කට් හරි චොකලට් හරි දාගන්න . (මොකද සමහර වෙලාවට අර ලොකු බෑග් එක මාරු වෙලා යන අවස්ථාවල් තියෙන නිසා  කැනඩාවෙන් බැස්සට පස්සේ ලොකු අපහසුතාවලට පත්වෙන්න පුළුවන්  ,ඒ නිසා දවසකට දෙකකට ඕන කරන දේවල් මේ කැරි ඔන් බැගේජ් එකේ දාගන්න . හැබැයි පිහි , කතුරු , කොලෝන්ග් වර්ග වගේ ගෙනියන්න එපා ,අනෙක දියර ජාති ගෙනියනවා නම් ඒවා මිලි ලීටර් 100 හෝ අඩු වෙන විදියට පැක් කරලා , ලේබල් කරලා , පොලිතීන් බෑග් එකක දාල තමයි කැරිඔන් බැගේජ් එකට දාගන්න ඕන .ඊන්හේලර්ස් එහෙම ගෙනියනවා නම් , ඒවාත් විනිවිද පේන බෑග් එකක දාල දාගන්න. නැත්නම් මගදි ටිකක් කරදර වෙන්න පුළුවන් .

පොඩ්ඩට සෙල්ලම් බඩුවක් දෙකක් දාගත්තට කමක් නැහැ , ඒත් සෙල්ලම් පිස්තෝල වගේ දේවල් නම් දාගන්න එපා .මහත්තය සිගරට් බොන කෙනෙක් වුනත් ලයිටර් දාගෙන ගිහින් නිකං කාළෙ නාස්ති කරගන්නයි හිතේ කළබලයක් ඇති කරගන්නයි එපා කියල තමයි මට කියන්න තියෙන්නේ ..


හරි දැන් අපි කැරිඔන් බැගේජ් එක පැක් කරගෙන ඉවරයි , දැන් පටන් ගන්නේ අර ලොකු බෑග් එක ..චෙක්ඉන් බැගේජ් එක පැක් කරගන්න ...

මුලින්ම අර සියල්ලේම ඡායාපිටපත් , ඇඳුමුකැඩුම් , පොත්පත් , සෙල්ලම් බඩු , කන බොන දේ , වගේ ඔක්කොම බර සීමාවට අනුව පැක් කරගන්න . වැඩියහොඳයි ඒ බෑග් එකේ පැක් කළේ මොනවද කියල ලියල තියා ගත්තනම් , හැබැයි මෙන්න මේ දෙවල් දාගන්නේ නැති තරමට හොඳයි ..මොකද මගදි නැත්නම් කරදර ගොඩයි ...මස් , කිරි , අමු පළතුරු එළවලු වගේ දෙවල් .සතුනගේ හමින් කළ නිර්මාණ , සිගරට් නම් 200කට වඩා දාගන්න එපා වැඩි වුනොත් ටැක්ස් වදිනවා ..ඔය ඉලෙක්ට්‍රොනික බඩු නම් එපා . මොකද කැනඩාවේ භාවිත වෙන්නේ 120v ඒ නිසා තේරුමක් නැතිවේවි ඒ බඩු වලින් නම් . (ලැප්ටොප් එකට නම් ප්‍රශ්නයක් නැහැ , මොකද ඒවා හදල තියෙන්නේ 120 හෝ 240 කියන දෙකටම හරියන්න ..) ... ඔක්කොම පැක් කරලා ඉවර වෙලා පොඩි රිබන් එකක් වගේ දෙයක් ගැට ගහන්න , මොකද එයාර්පෝර්ට් එකේ චේන් එකේ එත්දි එක වගේ බෑග් ගොඩක් එනවා , ටැග් එකක් ගැහැවුවට  ඒක කියව කියව තමනගේ බෑග් එක හොයන එක පණ යන වැඩක් , පොඩි රිබන් කෑල්ලකින් වැඩක් දාගත්ත නම් බෙල්ට් එකේ මග එත්දිම තමන්ගේ බෑග් එක හඳුන ගන්න පුළුවන් .

දැන් ඔක්කොම පැක් කරල බෑග් ටිකේ බර කිරන්න , ඔබේ ගුවන්ගමන් නියෝජිතයා පවසන්න ඇතිනේ කොයි තරම් බරක් ගෙනියන්න පුළුවන්ද කියන එක ..අන්න ඊට අනුව පමණක් බඩු පැක් කරගන්න , නැත්නම් ඉතින් එක්කෝ වැඩි පුර වියදම් කරන්න හරි , නැත්නම් නාස්තියක් වෙන්න හරි ඉඩ තියෙනවා , ඔක්කොටම වඩා මේ වගේ වෙලාවක හිතේ නිකං කාංසාවක් ඇති කරගන්නේ මොකටෙයි නේද ? ....

බඩු ටික පැක් කරගෙන ඉවර නම් , දැන් ඉතින් හොඳ විවේකයක් ගන්න , හෙට අනිත්දා නේ පිටත් වෙන්න ඇත්තේ ..ඒ නිසා ඉතිරි ටික කතා කරන්න එනකම්ම විවේකයක් ගන්නකෝ ...හැබැයි ඉතින් ඊළඟ ලිපියත් එක්ක එන්න නම් තව මාසයක් විතර යන්නත් පුළුවන් ...එතකම්ම විවේක ගන්නවද ?....